Collections

ඔබ අදම කියවිය යුතු කුමාර සිරිවර්ධන මහතාගේ පරිවර්තන පොත් 5 ක්

පුවත්පත් කලාවේදියෙක් විදිහට, ප්‍රවීණ පරිවර්තකයෙක් විදිහට සහ නවකතා රචකයකු විදිහට නමක් දිනාගත් සාහිත්‍යවේදී කුමාර සිරිවර්ධන මහතාගේ පරිවර්තන කෘති බොහොමයක් අතරින් පාඨකයන්ගේ ආදරය නොමඳව දිනා ගත් විශිෂ්ට කෘති පහක් ගැනයි අද අපි ඔබ සමග කතා කරන්නේ.

ආදම්ගේ පාරාදීසය

Caroline Corner කියන්නේ යටත් විජිත සමයේ දී ශ්‍රී ලංකාවේ වාසය කරපු බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක්. ඇයගේ සැමියා මෙරට යටත් විජිත කාර්යාලයේ නිලධාරියකු වශයෙන් සේවය කරන කාලයේ ඇය කොළඹ වරායෙන් මෙරටට ගොඩ බැස වසර 7 මෙරට ජීවත් වෙනවා . ඒ කාලය තුළ ඇය ලැබූ අත්දැකීම් අනුසාරයෙන් ලියන ලද අපූරු ග්‍රන්ථයක් තමයි Ceylon – The Paradise of Adam කියන්නේ.

එදා අපේ රට විදේශීය ජනතාවගේ ඇසින් දුටු ආකාරය සහ පුරාණයේ අපේ රටේ පැවැති සමාජ, ආර්ථික සහ සංස්කෘතික රටාවන් සම්ප්‍රදායන් පිළිබඳව දැනගන්නට කැමති බොහෝදෙනා වෙනුවෙන් කුමාර සිරිවර්ධනයන් මේ අපූරු ග්‍රන්ථය සිංහලට පරිවර්තනය කරනවා සිලෝන් – ආදම්ගේ පාරාදීසය නමින්.

මේ ආදම්ගේ පාරාදීසය යන ග්‍රන්ථය තුළින් මතුකර දක්වා තියෙන්නේ එදා වගේම අදත් කිසි වෙනසක් නැතිව අපට දකින්නට ලැබෙන ලාංකීය වැසියන්ගේ ආගන්තුක සත්කාර, ජීවන රටාව, නොයෙක් සම්ප්‍රදායන් සහ නොයෙක් සිරිත් විරිත්. ඒ විතරක් නෙවෙයි එදා සිදුවුණු වංචා, සොරකම් පුද්ගලයන්ගේ අලසකම් සහ ඇතැම් නිශේධනීය ගති පවා කැරොලින් විවේච්නාත්මකව ඒ පොතේ සඳහන් කර තියෙනවා. “..මේ පාරාදීසයේ හැමදෙයක්ම දිව්‍ය සැපතක් කියන්නත් බැහැ. ඔබට තේරුම් යයි තව කාලයක් මෙහි හිටියොත්. ඒක තමයි මේ රටේ විදිහ..” ඉතින් අපේ රටේ ඉතිහාසය ගැන දැන ගන්නට ඉගෙන ගන්නට කැමති ඔබට මෙය රසවත් කෘතියක් වේවි නිසැකයෙන්ම.

කොන්කල දෝණි

Jasvinder Sanghera විසින් රචනා කරන ලද shame කෘතිය කොන්කළ දෝණි නමින් සිංහලට පරිවර්තනය කරන්නේ කුමාර සිරිවර්ධන මහතා විසින්. මෙය ශීක් ජාතික දිරිය දියණියකගේ සත්‍ය කතාවක් ඇසුරින් ලියවුණු කෘතියක්. ඇයගේ වැඩිමහල් සොහොයුරියන් යෝජිත විවාහයන් නිසා ගෙවන කටුක ජීවිතය දැක තිබුණු නිසාවෙන් ඇය තීරණය කරනවා දෙමව්පියන්ට හොරෙන් නිවසෙන් පලා යන්නට. මොකද ඇයට වයස අවුරුදු දාහතරක් තරම් කුඩා වයසකදී ඇයගේ සැමියා වන්නට තෝරාගෙන තිබූ පුද්ගලයාගේ ඡායාරූපයක් පෙන්වා සිටින නිසා. එතැන් පටන් පවුලේ ගෞරවයට හානි කළා යැයි සලකා ඇයව ඇයගේ පවුලෙන් නෙරපා හරිනවා. ඉතින් ජීවිතයට වටිනාකමක් ලබා නොදුන් කෲර සම්ප්‍රදායන් නිසා තැලීම් පොඩිවීම්වලට ලක්වුණු නමුත් ජීවිතයේ අභියෝගවලට නොබියව මුහුණ දුන් ඇයගේ කතාවයි කුමාර සිරිවර්ධනයන් ඔබ වෙතට සමීප කරන්නේ.

නිරය

Dan brown විසින් රචනා කරන ලද inferno කෘතිය පාඨක ආකර්ෂණයට ලක්වුණු තවත් එක් ග්‍රන්ථයක්. මේ කතාවේ එන රොබට් ලැන්ග්ඩන් ඉතාලියේ ෆ්ලෝරන්ස් නුවර රෝහලක යහනක් මත දී අවදි වෙන්නේ ගතවූ දින දෙකක මතකයත් අහිමිව එක්තරා බියකරු සිහිනයක් දැකීමෙන්. ඒ ජලය රක්ත වර්ණයෙන් ගලායන නදියක්. අනෙක් ඉවුරේ මළසිරුරු දහස් ගණනක් සහ ඒ මැද සිටගෙන සිටින රිදී පැහැ හිසකේ සහිත කාන්තාවක් වශයෙන් . ඒ කාන්තාව “සොයන්න සම්බ වේවී” ආදී වශයෙනුත් ඔහුට පවසා සිටිනවා .

ඉතින් හිසේ වෙඩි උණ්ඩයක් නිසා ඇතිවු තුවාලයක් සහිත රොබට් පසුපස ලුහුබදින්නේ කලු ඇඳගත් ඝාතක කාන්තාවක් සහ කළු නිල ඇඳුමෙන් සැරසෙන සෙබළුන්. රොබට්ගේ සහයට තරුණ වෛද්‍යවරියක් වූ සියෙනා බෘක්ස් ද පැමිණෙන අතර මාරක වසංගතයකින් ලෝකය ගලවා ගැනීමේ අභියෝගයත් ඔහු ඉදිරියේ තිබුණා. ඉතින් මේ අභියෝගය ජය ගන්නට ඔහුට සිය වසකට පෙර ඉතාලියේ විසූ කවියා දාන්තේ අලි සමඟ නිරය හරහා යා යුතු වෙනවා. ඉතින් මේ අපූරු ගමන කියවන ඔබට එය තරමක් බියකරු නමුත් රසවත් කතාවක් වේවි නිසැකයෙන්ම.

කළු දළ මල

1672 වසරේ දී ඕලන්දය පුරා පැතිර යන කළබලකාරී වාතාවරණයකදී ඝාතනයට ලක්වෙන දේශප්‍රේමී ඩී විට් සහ ස්වභාදහමට බෙහෙවින්ම ආදරේ කරන ට්යුලිප් මලක් නිසාවෙන් සිර දඩුවම් හිමිවෙන ඩී විට්ගේ දරුවා පිළිබඳව ආන්දෝලනාත්මක කතාව තමයි කුමාර සිරිවර්ධනයන් විසින් කළු දළ මල ලෙසින් සිංහලට පරිවර්තනය කරන්නේ.

කොර්නේලියස් වැන් බ්‍රෙලේ වන ඩී විට්ගේ දරුවා යුරෝපය පුරාම ටියුලිප් උන්මාදයක් පැතිර යන කාලයකදී කළු ටියුලිප් මලක් නිර්මාණය කරන්නට දරන උත්සාහයේදී රටේ දේශපාලන ප්‍රවාහයට නොදැනුවත්වම මැදිවෙන්නට සිදුවෙනවා. පසුව ඔහු බන්ධනාගාරය ඇතුලත දී ජේලර්වරයාගෙ දියණිය සමඟ ඇති කර ගන්නා සබඳතාවය කුමක්ද? ඔහු නිර්මාණය කරන ටියුලිප් මල සොරා ගත්තේ කවුද? අවසානයේ ඔහුටත් අත්වුණු ඉරණම මොකක්ද ? කුතුහලය පිරිණු මේ කෘතියත් ඔබට එක් හුස්මට කියවා අවසන් කළ හැකි අපූරු කෘතියක්.

භූතාවේශය

Dan Brownගේ තවත් ආන්දෝලනාත්මක ග්‍රන්ථයක් විදිහට Angel & Demons කෘතිය හඳුන්වා දෙන්නට පුළුවන්. මේ කතාවට අනුව අමුතුම ආකාරයේ සංකේතයක් පපුව මත හංවඩුවක් ලෙස තබා මරා දැමුණු සුප්‍රකට විද්‍යාඥයකුගේ මළ සිරුර සිරුරක් සහ ඊට සැතපුම් සිය ගණනක් ඈත රෝමයේ වතිකානු නගරයම පොළවට සමතලා කළ හැකි මධ්‍යම රාත්‍රියේ පුපුරා යාමට නියමිත නව තාක්ෂණික කාල බෝම්බයත් පිළිබඳව අපූරු කතාවක්. මේ සිදුවීම් දෙක සහ තවත් සංකේතාත්මක හංවඩු හතරක් සොයමින් යන මහාචාර්ය robert langdonට අවරෝහණ කාල ගණනය ඇරඹී තිබෙන ඔරලෝසුව නතර කරන්නට හැකියාව ලැබෙයි ද? ඉතින් මෙයත් ඔබ කියවා රසවිදිය යුතු තවත් අපූරු ග්‍රන්ථයත්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *