Reviews

කාන්තාවන් දස දහසකගේ ජීවිත සාර්ථකත්වය කරා ගෙන ගිය මිෂෙල් ඔබාමාගේ විශ්මිත ග්‍රන්ථය.

මිෂෙල් ඔබාමා කියන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු 44 වන ජනාධිපතිවරයා වුණු බැරක් ඔබාමාගේ ප්‍රිය භාර්යාව. ඒ විතරක් නෙවෙයි ඇය ඇමරිකාවේ පළමු අප්‍රිකානු සහ ඇමරිකානු ජනාධිපති ආර්යාව. නමුත් මිෂෙල් ඔබාමාගේ ජීවිත කතාව ඔබ අපි හිතන තරමි සුන්දර එකක් නම් නෙවෙයි.

අද අපි කතා කරන මිෂෙල් ඔබාමාගේ becoming කෘතිය තවත් එක් චරිතාපදානයක් විතරක් නෙවෙයි. ඇමරිකානු කළු රැජින එහෙමත් නැත්නම් ඇමරිකානු ජනාධිපතිවරයෙකුගේ බිරිඳකගේ කතාව විතරක් නෙවෙයි. සෑම තැනකදීම අප්‍රිකානු – ඇමරිකානු ගැහැණිය වූ, විටක මනාලියක් වූ , තවත් විටක වෙහෙසට පත් මවක් වූ , දුකින් පිරුණු ආදරණීය දුවක් වූ, විටෙක සිය ස්වාමි පුරුෂයාට ශක්තිය ධෛර්යය ලබාදුන් බිරිඳක් වුණු දිරිමත් ගැහැණියකගේ කතාවයි.

ඇය චිකාගෝ දකුණු ප්‍රදේශයේ කම්කරු පන්තියට අයත් පවුලක ඉපිද වර්ණභේදවාදය නිසා පීඩාවට පත්වෙමින් හැලහැප්පීම් මැද තමන්ගේ ආදරණීයන් හා එක්ව දුක්බරව ජීවිතය ජයගත් කාන්තාවක්. වර්ණභේදවාදය හමුවේ පීඩාවට පත්වෙමින් වුවත් තමන්ගේ ජීවිතය ඉදිරියට ගෙන ගිය, සියලුම අභියෝග නිහතමානීව දරාගත්, මිෂෙල් ඔබාමා මුලින්ම ඇයගේ වාර්ගිකත්වය තේරුම් ගත්තේ සුදු මිතුරෙකුගේ මව ඇගේ ජාතිය නිසා තම දියණිය මාරු කරන්නට උත්සාහ කළ අවස්ථාවක දී. ඇයට මෙවැනි කටුක අත්දැකීම්වලට මුහුණ දෙන්නට සිදු වුණේ සුදු කළු භේදය දැඩිව පැවැති වකවානුවක වැඩි වශයෙන් සුදු ළමයින් සිටි පාසලක කළු ශිෂ්‍යාවක් වූ නිසාවෙන්. ඇගේ පන්තියේ මිතුරන් සහ ගුරුවරුන් ඇයව තේරුම් ගන්නට කැමැත්තෙන් සිටියත් ඇයට මේ කළු සුදු භේදය නිසාම නොසිතූ විරූ ලෙස ඇදවැටීම්වලට ලක් වෙන්නට සිදුවෙනවා.

භවගතවීම යනුවෙන් මහින්ද හත්තක මහතා විසින් සිංහලයට පරිවර්තනය කරන ලද Michelle Obama විසින් රචනා කරන ලද becoming කෘතිය ලාංකීය ඔබ කියවිය යුතු ස්වයං ලිඛිත චරිතාපදානයක්. මේ චරිතාපදානය තුළ ඇයගේ ළමා කාලය, දෙමාපියන් , පවුල, ස්වාමි පුරුෂයා, ඇගේ ජීවන රටාව, පෞද්ගලික තොරතුරු ආදී කරුණු බොහොමයක් අන්තර්ගත වෙනවා. ඒ වගේම ඇමරිකාවේ පළමුවන කළු ජාතික ජනාධිපතිවරයාගේ ජනාධිපති ජීවිතය සහ ධවල මන්දිරයේ ඔවුන් ගත කළ කාලය පිළිබඳ තොරතුරුත් මේ ග්‍රන්ථයේ ඇතුළත්.

ඇයගේ මේ චරිතාපදානය ගැහැනියකට තමන්ට හමුවන අභියෝගයන් ශක්තිමත්ව ජය ගන්නට, විවේචනයන් හමුවේ නොසැලී පෙරට යන්නට සහ ඒවාට මුහුණ දෙන්නටත්, තමන්ගේ වෘත්තීය ජීවිතය පවුල් ජීවිතය සමඟ දේශපාලන කටයුතු සමබර කර ගනිමින් සාර්ථක ජීවිතයක් ගත කරගන්නටත් අවශ්‍ය කරන ආදර්ශයන් ලබා දෙන සෑම කාන්තාවක්ම කියවිය යුතු කෘතියක්.

තරුණ ජනතාවට ප්‍රයෝජනවත්වත් වෘත්තීන් ගොඩනගා ගන්නට උදව් කරන, ලාභ නොබෙදෙන ආයතනයක අධ්‍යක්ෂිකාවක් වුණු, නීතිඥවරියක් සහ රෝහලක උප සභාපති වශයෙන් ද කටයුතු කළ ඇයට නිල වශයෙන් තනතුරක් හිමි නොවුණත් එයින් ඇය නොසිතූ ආකාරයේ වේදිකාවක් නිර්මාණය කරගෙන ජීවිතයේ ඉදිරියට ගමන් කරනවා.

දුක් කම්කටොළු බාධක අභියෝග හමුවේ නොසැලී නොබියව සිය ජීවන ගමන ආ ඇය ඇමරිකා එක්සත් ජනපද ජනතාවගේ ලෝකයේ වඩාත්ම අගය කරන කාන්තාවන් අතරටත් පත්වෙන්නට තරම් වාසනාවන්ත වෙනවා. අනෙක් බොහෝ කාන්තාවන්ගෙන් කෙනෙක් නොවූ ඇයගේ ජීවිත කතාව ඇතුළත් මේ චරිතාපදාන ග්‍රන්ථය ඉතා විශේෂ එකක්. මොකද මේ ග්‍රන්ථය එළිදැක්වීමෙන් පසු දින පහළවක් වැනි ඉතා කෙටි කාලයක් තුළදී හොඳම පොත් විකුණුම් ග්‍රන්ථ අතරට පවා මෙය එකතු වෙන නිසා.

ඉතින් ජීවිතය දිනූ මේ ඇයගේ ස්වයං චරිතාපදානය ජීවිතය ජයගන්න වෙර දරන ඔබට ශක්තියක් වේවි නිසැකයෙන්ම.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *