Reviews

නොමගේ ගිය දරුවන්ගේ ජීවිතය වෙනස් කරපු මහින්ද ප්‍රසාද් මස්ඉඹුලයන්ගේ අපොයියාව


මහින්ද ප්‍රසාද් මස්ඉඹුලයන්ගේ තවත් අපූරු නිර්මාණයක් ගැන තමයි අද අපි කතා කරන්නේ. අපොයියාව. මේ නම ඇහුණු ගමන් අපි හැමෝම වගේ කල්පනා කරනවා අපොයියාව කියන්නේ මොකක්ද කියලා. ඉතින් පොතේ නම සම්බන්ධයෙන් අප තුළ ඇති කුතුහලයම මේ කතාව කියවන්නට අපිව පොළඹවනවා.

ඔබ මවක් පියෙක් නම් ගුරුවරයෙක් නම් ඔබේ දරුවන්ගේ පොත් එකතුවට අනිවාරෙන්ම එකතු කළ යුතු පොතක් තමයි අපොයියාව.මේ කතාවේ එන මුතුහර කියන්නේ සාමාන්‍ය ළමයෙක් මිස වීරයෙක් නෙවෙයි. පාසල් යන සාමාන්‍ය දරුවෙක් වෙන මේ මුතුහර ප්‍රහේලිකාවක් පුරවලා ජයග්‍රහණය ලබා ගන්නවා. නමුත් ඒ ජයග්‍රහණයෙන් ඒ සඳහා ඔහුට ලැබෙන තෑග්ග විශාල එකක් නම් නෙවෙයි. එනමුත් මේ කෘතිය සුවිශේෂීත්වයක් උසුලන කෘතියක් බව අනිවාර්යයෙන්ම ඔබට සිහිපත් කළ යුතුමයි .

මේ කතාව පුරාම මුතුහර ලඟින්ම ආශ්‍රය කරන්නේ වචන. ඉතින් ඔහු ජයගන්නේ භාෂාව. අන් හැම දේකටම වැඩිය මිනිස්සු සමීප වෙන්නේ වචන සමඟ. ඒ නිසාම මිනිසුන්ට වචන අමතක වෙනවා. මේ වචන දරුවන්ට ලං කරන එක , දරුවන්ව වචනවලට ලං කරන එක බොහෝ දෙනෙක්ට අද අද අමතක වෙලා තියෙනවා. ඉතින් මේ අපොයියාව නවකතාව විශේෂ වෙන්නේ මෙන්න මේ වචන වෙතට ලං වෙලා බලන හැටි හරි අපූරුවට මේ තුළ අන්තර්ගත වෙලා තියෙන නිසා.

මවුපියන්ට කැත්තෙන් කොටා මරන, වැදූ දරුවන් ඒ මොහොතේම විනාශ කරන, තම දරුවා සහෝදරිය දූෂණය කරන කෙසේහෝ සල්ලි උපයන සමාජයක් අද නිර්මාණය වෙලා තියෙන්නෙ සමාජමය වශයෙන් අපි අඳුරේ ජීවත් වෙන්නේ ආදරය මනුෂ්‍යත්වය වගේ වචන අපෙන් ගිලිහිලා තියෙන නිසා. ඉතින් ඒ නිසා මේ වචන දිහා සමීප වෙලා බලන්න පුළුවන් මිනිස්සු තමයි අද අපේ සමාජයට අවශ්‍ය වෙලා තියෙන්නේ . මෙන්න මේ කාරණාව ඉස්මතු කෙරෙමින් ගෙතුණු අපූරු ලියවිල්ලක් නිසා අපොයියාව විශේෂ කෘතියක් විදියට සලකන්නට පුළුවන්.

මේ පොතේ මුතුහර හැරුණාම තවත් සුවිශේෂී චරිතයක් වෙන්නේ ඔහුට ජීවිතය කියලා දෙන කිරි අම්මා. මේ අපොයියාව පොත පුරාම දිවෙන්නේ මුතුහර සහ ඔහුගේ කිරි අම්මා අතර ඇති වුණු සිද්ධි දාමයන්.

“උඹ අහලා තියෙනවද මං දන්නෑ උක්කුං ළමයො හරිහමන් දඩයක්කාරයෙක් නං සතෙක් ගැබ්බරව ඉදිද්දි, පැටවාට කිරි දෙද්දී, සතා දිය බොද්දි හෙම වෙඩි තියන්නේ නෑ..”

අකුරු සාස්තරය දැන නොගත්තත් මේ කතාවේ එන කිරි අම්මා තමන් ජීවිත කාලය පුරා ලබපු අත්දැකීම් අනුසාරයෙන් හරි අපූරු පාඩම් මේ කතාව තුලින් අපිට කියාදෙනවා. අද කාලේ දරුවන්ට කිරි අම්මාගේ කිරි අත්තාගේ ඇසුරේ හැදී වැඩෙන්නට ඉඩක් නැහැ. එසේ ලැබෙන්නෙත් හරි කලාතුරකින්. අද දරුවන් යන්ත්‍රානුසාර වෙලා. ඒත් මේ කතාවේ මුතුහර ජීවිතය ඉගෙන ගන්නේ අකුරු නොදන්නා කිරි අම්මාගෙන්.

විශේෂයෙන්ම විස්තෘත පවුල්වලින් ඈත්වෙලා ඉන්න වර්තමාන දරුවන්ට කිරි අම්මා කෙනෙක් තමන්ගේ මුණුපුරාට කියලා දෙන මේ ජීවිතයේ වටිනා පාඩම් ඔබේ දරුවාටත් අනිවාර්යෙන්ම වැදගත් වෙනවා. අපි ජීවිතය කියන ප්‍රහේලිකාව පුරවා ගන්නට ඕනේ ආයාසයකින් නොවන වග මස්ඉඹුලයන් හරි අපූරුවට මේ යොවුන් නවකතාව තුළින් අපිට විද්‍යාමාන කර දීලා තියෙනවා.

ඉතින් මේ අපොයියාව යොවුන් නවකතාවක් විදියට කාණ්ඩ කළත් මේ කතාව ළමා, තරුණ, වැඩිහිටි යන තෙපාර්ශවයටම රස විඳින්නට හැකියාව තියෙන අපූරු කතාවක් විදියට සදහන් කරන්නට පුළුවන්. විශේෂයෙන්ම වත්මන් දරුවන්ගෙන් ගිලිහිලා යන ඔවුන්ගේ ළමා ලෝකයේ සුන්දරත්වය, බාධක මැද ජීවිතය ජය ගනිමින් සමාජය දෙස නව මානයකින් බලන්නට තරුණ පරපුර පොළඹවන මේ කෘතියත් ඔබට රසවත් අත්දැකීමක් වේවි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *