Reviews

ලෝකයේ තහනමට පවා ලක්වුණ ඩෑන් බ්‍රවුන්ගේ අභිරහස් ග්‍රන්ථය.

කෙටි කාලයක් තුළ පාඨකයන් ඉතා ආදරයෙන් වැලඳ ගත් ආන්දෝලනාත්මක අපූරු ප්‍රබන්ධයක් තමයි ඩ වින්චි කෝඩ් කෘතිය. ඇමරිකානු ලේඛකයෙක් වන dan brown විසින් රචනා කරන ලද ඩාවින්චි කෝඩ් කියන කෘතිය රචනා කර එළිදක්වන්නේ 2003 වර්ෂයේදී. මේ ලේඛකයා ගැන කතා කළොත් ඒ වෙද්දි ඔහු නවකතා දෙක තුනක් ලියා තිබුණත් ඩාවින්චි කෝඩ් එළිදක්වන තුරු ඔහු එතරම් ප්‍රසිද්ධියක් ඉසිලූ ලේඛකයෙක් වුණේ නැහැ. නමුත් මේ මේ ඩාවින්චි කෝඩ් කෘතිය නිසාම ඔහු එක රැයකින් මුළු ලෝකය පුරාම ප්‍රසිද්ධියට පත් වෙනවා.

2006 වසරේදී මේ නවකතාව ඇසුරෙන් සිනමාපටයක් නිර්මාණය වෙනවා. මේ ග්‍රන්ථයේ ඇති ආන්දෝලනාත්මක කාරණා නිසාම ඒ සිනමාපටයත් ශ්‍රී ලංකාව ඇතුළුව බටහිර රටවල්වල තහනමට ලක්වෙනවා. මෙරට ප්‍රදර්ශනය තහනම් කෙරුණු මේ සිනමා පටය පසුකාලයකදී රූපවාහිනී නාලිකාවකින් විකාශය කෙරුණා. මෙහි සැබෑ රසය අත්භූත බව සහ කුතුහලය නොඅඩුව අත්විදින්නට නම් ඔබ මේ සිනමාපටය නැරඹීමට වඩා කියවිය යුත්තේ මේ කෘතිය.

කොහොමනමුත් මේ ග්‍රන්ථයේ අලෙවියත් මුල් කාලයේදී තහනමට ලක්වෙනවා. නමුත් පසුකාලීනව පල්ලිය මැදිහත්වීමෙන් ඒ තහනම ඉවත් කරනවා. ඒත් සමඟම හැකියාව ලැබෙනවා මේ ඩාවින්චි කෝඩ් කියන කෘතිය ඩ වින්චි කේතය විදිහට සිංහලට පරිවර්තනය කරන්නට. මුළු ලෝකයකම කණපිට හරවන්නට තරම් ආන්දෝලනාත්මක වූ මේ කෘතිය ලාංකීය අපිට රසවිඳින්නට අවස්ථාව උදා වෙන්නේ ඉතා විශිෂ්ඨ පරිවර්තකයෙකු වන කුමාර සිරිවර්ධන මහතාට පින්සිදු වන්නට.

dan brown විසින් රචිත ආගමික අධිකාරිය නිසා ආසියාවේ සහ යුරෝපයේ තහනමට ලක් වූ මේ කෘතිය හරහා රාජ්‍යත්වය සහ ආගමික යන කාරණා ද්විත්වයම නිර්භයව දැඩිව ප්‍රශ්න කිරීමකට ලක්කරලා තියෙනවා.

සංක්ෂිප්තව ගත්විට පැරීසියේ ලූවර් කෞතුකාගාරයේ භාරකරු වන ජැක් සෙනියරේ මිය යන්නේ රොබට් සහ සොෆීව හමුවෙන්නට නියමිතව තිබියදී අද්භූත ප්‍රහාරයකින්. මිය යන්නට පෙර ඔහු කේත භාවිතා කරමින් යම් පණිවිඩයක් තම සිරුර අසල තබනවා. ඔහුගේ මිනිපිරිය සොෆී නෙවෙයු සහ සංකේත පිළිබඳ ඇමරිකානු මහාචාර්ය රොබට් ලැන්ග්ඩන් ඒ කේතමය පණිවුඩ විශ්ලේෂණය කරන්නේ විවිධ අනතුරු සහ අභියෝගවලට මුහුණ දෙමින්.

ඉතින් මෙය ජේසුස් වහන්සේගේ ඉතිහාසයේ සැඟවුණු කරුණුත් බයිබලයට යම් ආකාරයකට අභියෝග කරන කරුණුත් බොහොමයක්ම ඇතුළත් ග්‍රන්ථයක් විදිහට ලෝකය පුරාම කතාබහට ලක්වෙනවා. විශේෂයෙන්ම ජේසුතුමාගේ බිරිඳ කවුරුන් ද යන්න බයිබලයේ හෝ වෙනත් ශුද්ධ ග්‍රන්ථයක සඳහන් වෙන්නේ නැහැ. නමුත් ජේසුතුමාගේ බිරිඳ කවුරුන් ද කියන කාරණාව ගැන අපි අද මේ කතා කරන මේ පොතේ සඳහන් වෙනවා. ඒ අනුව ජේසුතුමාගේ බිරිඳ වීදි ගණිකාවක් වන මරියා මග්ද්ලේනා විය හැකිද? යන්න දැන ගන්නට මේ කෘතිය ඔබට රසවිඳින්නම වෙනවා.

ප්‍රබන්ධ සාහිත්‍ය කෘතියක් වෙන ඩෑන් බ්‍රවුන්ගේ මේ ග්‍රන්ථය තුළ ජේසුස් වහන්සේගේ බිරිඳ සහ දරුවා ඇතුළු කාරණා පිළිබඳව සාකච්ඡාවට බඳුන් කෙරෙන නිසාම මේ පොත මුළු ලෝකයේ කිතුණු භක්තිකයන්ගේ විවේච්නයටත් ලක්වෙනවා. ඒ නිසාම වෙන්නට ඇති ලෙබනනය ඇතුළු රටවල් බොහොමයක 2004 වර්ෂයේදී මේ කෘතිය තහනමට ලක් වෙන්නේ.

මෙයින් dan brown පැහැදිලිව කරුණු සහිතව ඔප්පු කරනවා දේවත්වයෙන් සලකන ලද ජේසුතුමන් ද එක් මනුෂ්‍යයෙක් පමණක් බවත් නූතන කිතුනු ආගමේ අසත්‍යතා ඇති බවත්. කොටින්ම කිව්වොත් ඔහු මේ ග්‍රන්ථය තුළින් බයිබලය බොරුවක් කියන කාරණාව සදහන් කරනවා සාධක සහිතව.

මේ කෘතිය තුළ සඳහන් වෙන විශේෂ පුද්ගලයෙක් තමයි ලියනාඩෝ ඩාවින්චි. විශේෂයෙන්ම ලෝක ප්‍රකට අවසන් භෝජන සංග්‍රහය කියන සිතුවම පිළිබඳව අපූරු විශ්ලේෂණයක් මේ ග්‍රන්ථයේ අන්තර්ගත වෙනවා. ඔබ මම කිසිවිටෙක නොසිතන ආන්දෝලනාත්මක විග්‍රහයක් එහි ඇතුළත්. ඔබ මේ සිතුවම ඕනෑ තරම් දැක ඇති නමුත් අවධානයෙන් එය නිරීක්ෂණය කළා ද කියන කාරණාව මේ ග්‍රන්ථය පරිශීලනය කරද්දී ඔබටම වැටහේවි.

මේ අවසන් භෝජන සංග්‍රහයේ සිතුවමේ ජේසුතුමා සහ අනුගාමිකයන් 12 දෙනෙක් දැක්වෙනවා. මේ අනුගාමිකයන් 12 දෙනා අතරේ කිසිවෙක් කරමාල පැළඳ නැති නමුත් ජේසුතුමාගේ දකුණු පසින් සිටින කෙනා කර මාලයක් පැළඳ සිටිනවා. ඇය කාන්තාවක්. විශේෂයෙන්ම ලියනාඩෝ ඩාවින්චි කියන්නේ සංකේත භාෂාව උපරිම වශයෙන් භාවිතා කරපු සංකේත විද්‍යාඥයෙක්.

ජේසුතුමාට වම් පසින් සිටින්නා සහ ජේසුතුමා සිටින්නෙ V අකුරේ හැඩයට. සංකේත විද්‍යාවට අනුව එයින් පිළිබිඹු වෙන්නේ විවාහය. ඩාවින්චි අඳින ලද ඒ කාන්තාව මරිය මද්ලේනා. ඒ අනුව ඩාවින්චි පවා බයිබලය සහ ඒ ඉගැන්වීම් විශ්වාස නොකළ අයෙක් ද?

ඉතින් මේ කෘතිය ජේසුතුමන්ගේ රහස් හඹා යන අසත්‍ය හෝ මවාපාන කිසිදු ස්ථානයක්වත් වචනයක්වත් නැති වෙනස්ම ආරයේ කෘතියක්. එහි සඳහන් වන සෑම ස්ථානයක්ම ලෝකයේ ඇති තැන්. එහි එන චරිත සැබෑවටම ලෝකයේ ජීවත් වුණු පුද්ගලයන් .

මෙහි කිතුනු දහම විතරක් නෙවෙයි බෞද්ධ දර්ශනය අදහන අය සිද්ධාර්ථ කුමාරයා ඉපිද පියවර හතක් නෙළුම් මල් හතක් මතින් ගමන් කළා ද කියලා කාරණාවක් ප්‍රශ්න කිරීමට ලක්වෙන අවස්ථා තියෙනවා. ඒ නිසා ආගමික මතධාරියෙක් නොවී මධ්‍යස්ථ මතධාරියෙක් ලෙස බුද්ධිමත්ව පරිශීලනය කළ යුතු කෘතියක් මේ ඩ වින්චි කේතය.

කෘතිය කියවන පාඨක ඔබව පවා දැනුම පසුපස හබා යාමට සහ හැදෑරීමට පොළඹවන්නට තරම් විශේෂ හැකියාවක් සතු මේ ග්‍රන්ථය කියවා අවසන් වෙද්දි ඔබට විශ්වාස කරන්නටත් නොහැකි වේවි එය සැබැවින්ම ප්‍රබන්ධයක් ද කියලා. ඒ නිසාවෙන් මේ කෘතිය ඔබ අනිවාර්යෙන්ම කියවිය යුතු වෙනස්ම විදියේ කෘතියක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *