Reviews

පෙම් කරන්න මත්තෙන් එක පාරක් හරි කියවිය යුතු චන්ද්‍රරත්න බණ්ඩාරයන්ගේ ප්‍රේමානිශංස නවකතාව

මෑතකදී වැඩි වශයෙන් කතාබහට ලක්වුණු ජ්‍යෙෂ්ඨ ලේඛක චන්ද්‍රරත්න බණ්ඩාරයන්ගේ තවත් සරුසාර සාහිත්‍යය වියමනක් තමයි ප්‍රේමානිශංස නවකතාව ලෙස පාඨක ඔබේ දෑතට පත් වෙන්නේ. මෙවර ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ හොඳම කෘතියට හිමි සම්මානය හිමිකර ගත්, විද්‍යෝදය සම්මාන උළෙලේදී පවා හොඳම කෘතිය විදිහට පිදුම් ලත් ප්‍රේමානිශංස කියන සුන්දර නිර්මාණය ගැනයි අපි අද කතා කරන්නේ.

ප්‍රේමානිශංස පාඨකයාගේ චින්තන පරාසය පුළුල් කරවන, අලුතින් සිතන්නට පොළඹවන, නවමු සිතුවිලි ජනිත කරවන හරි අපූරු සුන්දර නිර්මාණයක්. තවත් ආකාරයකින් කිව්වොත් ඉතිහාසමය සන්දර්භයක් යටතේ නූතනත්වය යස අපූරුවට සාකච්ඡා කෙරෙන නවකතාවක්. මේ නිර්මාණය තුළ නූතන පරපුරට අරුමයක් නොවන සමලිංගිකත්වය, ආදරය, කාන්තාවකගේ සීමාවන් කියන කාරණාවන් නවකතාවට එකතු කර ඇති ආරය පාඨකයාට මේ පොතින් ඇස් අහකට ගන්නට පුංචිවත් හිඩැසක්වත් නිර්මාණය නොවෙන්නට හේතුවක් වෙලා තියෙනවා.

මේ නවකතාව සිංහල බෞද්ධ වටපිටාවක් සහිත ගෘහ නිර්මාණ ශිල්පී තරුණයෙකුත්, ආනන්ද කුමාරස්වාමි කියන සුවිසල් මිනිසාගේ පරපුරෙන් පැවතෙන දමිල සම්භවයක් සහිත නිදහස්කාමී ලිබරල් සිතිවිලිවලින් බර තරුණියකුත් පාදක කොටගත් නිර්මාණයක්. ඔවුන් හා බැඳුණු සමාජ, දේශපාලන සහ සංස්කෘතික වට වටපිටාවන් වගේම මේ නවකතාව ඉන්දියාව තුළ සහ ටිබෙට් දේශය තුළ පවා අපූරුවට දිවයන පුළුල් පරාසයක විහිදුණු නවකතාවක්.

අද ෆේස් බුක් පරම්පරාවට අයත් ඉතා සුන්දර ආදර කතාවක් යානය කරගත් මෙය නූතන තරුණ තරුණියන් කියවිය යුතුම නවකතාවක්. ප්‍රේමය නූතන පරපුරේ අපි විවිධාකාරයට නිර්වචනය කරනවා . ප්‍රේමය හිමිවීම ද, අහිමිවීම ද, විදවීම ද, පලිගැනීම ද යන්න ෆැන්ටසියක ජීවත් වෙන තරුණ පරපුරට තවමත් වැටහීමක් නැහැ. ඒ නිසාම ප්‍රේමයත් අනෙතුත් කාරණා වගේම සමාජීය විෂයක් බව අපිට අමතක වෙලා. අපේ රටේ ආගම දහම, ශිල්ප ශාස්ත්‍ර ආදියේ වගේම ප්‍රේමය තුළත් අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුතු ශිෂ්ඨත්වය අද ගිලිහිලා ගිහින්.

“මට හිතෙනවා ඇදුම් ඔක්කොම ගලවලා අර මිනිස්සු පොදි ගැහිච්ච තැනින් හෙළුවැල්ලෙන් වතුරට පැනලා නාන්න.”

“එපා, පිරිමිවත් නොකරන වැඩ. මම බිරාන්තව කෑගැසීමි. කියන දේ කරන තැනැත්තියක ලෙස නිරූ එසේම කරාවි යැයි මට ක්ෂණිකව සිතිණි.”

“වෙහෙසකර මුහුණින් යුතුව කලකිරීමෙන් පැමිණ ඈ මගේ බිරාන්තයට කොක් හඬලා සිනාසුණා ය. මම එහෙම කළොත් අපේ මිනිස්සු යාපනයට යනකනුත් ගිහින් ආපහු එනකනුත් කතා කරන්නෙ දුටුගැමුණු එළාර ගැනවත් යුද්ධෙ දිනපු එක ගැනවත් නෙවෙයි. මගෙ නිරුවත ගැන.”

ඉතින් පුරාවිද්‍යාවෙන් ආරම්භ වෙලා ප්‍රේමය රාගය ඔස්සේ නොයෙකුත් බැඳීම්වල ස්වභාවය හඳුනා ගැනෙමින් ගොඩනැගෙන මේ පොත රසවිඳින පාඨක ඔබට මේ පොත කියවද්දීම ඔබේ ජීවිතයත් ඔබටම ගවේෂණය කරගන්නට අවකාශ ලැබෙනවා.

“ගැහැණිය උපන්නේ මා වෙනුවෙනැයි සිතීම තරම් ක්ලේශයක් තවත් නැතැයි සහන් මට කීවේ නෙරූ ගැන නොව ඈ මට හමුවෙන්නත් බොහෝ කලකට පෙර ලෝක ධර්මතා ගැන පොදු සාකච්ඡාවකදීය..”

..”මතක තියා තියාගන්න.. හැම හමුවීමක් ඇතුළෙම වෙන්වීමක ඉරණම ලියවිලා තියෙන විත්තිය.. අනික මතක තියා ගත යුතු වැදගත්ම දේ හමුවීම ජීවත් වීමක් වෙන්නේ ගැලපීම් හැමදාම නඩත්තු කළොත් විතරයි”

ඉතිහාසය එහෙමත් නැත්නම් යටගියාව කියන්නේ මියගිය දෙයක් නෙවෙයි. එය කාලය සහ අවකාශය අතර සම්බන්ධතාවයක් නිර්මාණය කරන්නක්. වර්තමානය වගේම අනාගතය ගොඩනැගෙන්නට අතීතයේ යම් යම් යම් සිද්ධීන් උදව් වෙනවා. ඒ නිසාම නිදහසට පෙර ලාංකීය ජන සමාජය සහ නිදහසින් පසු ලාංකීය ජන සමාජය මේ කතාන්දරය ගොඩනැගෙන්නට පාදක වෙලා තියෙනවා.

බ්‍රිතාන්‍ය යුගයේදී ධනවතුන් බවට පත්වෙන මධ්‍යම පාන්තිකයන්ගෙන් පැවතෙන විල්මුලගේ වත්මන් පුරුක වෙන සයුරු තමයි මේ කතන්දරය පාඨකයාට සමීප කරන්නෙ. ජන්මයෙන් උරුම වෙන ජාතියට වඩා මේ මධ්‍යම පාන්තිකයන් උනන්දු වුණේ ආයාසයෙන් සල්ලි බලෙන් උසස් කුලයක් හිමිකරගන්නට. ඉතින් වංශවත් පරම්පරාවකට උරුමකම් නොකිව්වත් ආර්ථිකය අතින් සන්නද්ධ සමාජය තුළ ස්ථාවරත්වයක් ගොඩනඟා ගත්ත පිරිසට අයත් මේ සයුරු සමඟ ගැහැණු චරිත තුනක් බැඳෙනවා. ඒ තමයි නිරූ, අම්මා සහ සොෆියා.

ඒ හැරුණාම මේ නවකතාවේ කෙවින් තුළින් සමලිංගික තරුණයෙකුගේ ක්‍රියාකලාපයන් ද , සොෆියා තුළින් නිදහස් සංචාරක තරුණියකගේ ක්‍රියාකලාපයන් ද විග්‍රහ කරනවා.

ආනන්ද කුමාරස්වාමිගේ පෙළපතින් පැවතෙන නිරූ තුළින් ගතානුගතික සාම්ප්‍රදායික අදහස්වලින් සමන්විත ස්ත්‍රිය වෙනුවට බටහිර ආභාසයෙන් පෝෂිත නිදහස්කාමී තරුණියක් ගොඩනංවනවා. නමුත් නිරූට අවසන් භාගයේ දී අත්වන ඉරණම සහ ඇය අවසානයේ ක්‍රියා කරන ආකාරය මුලින් ඇය ගොඩනඟා ගත් ප්‍රබල ස්ත්‍රී චරිතය වෙනුවට සාම්ප්‍රදායිකත්වය මතට ඇද වැටෙන ආකාරය කතුවරයා ව්‍යංගයෙන් පවසා සිටිනවා.

ප්‍රේමය විවාහය කියන කාරණාවලදී එදා තරම්ම සාම්ප්‍රදායික මතිමතාන්දරයන් නූතන පරපුරේ නැතත් කුලය ජාතිය කියන කාරණා තවමත් අපේ සමාජයේ හුස්ම අල්ලනවා. ඉතින් ප්‍රේමය විවාහයකින් කෙළවර විය යුතුද? සදාකාලික ප්‍රේමයක් කියන්නෙම මුලාවක් ද ? හිමිවෙන අහිමිවෙන විදවන මුලාවෙන එනිසාවෙන් තවත් ප්‍රේම කතාවක ඇරඹුම සනිටුහන් කරන වත්මන් පරපුරේ ප්‍රේමවන්තයෙකුට ප්‍රේමවන්තියකටත් මේ සුන්දර නිර්මාණය නවමු අත්දැකීමක් වේවි නිසැකයෙන්ම.

“…ඒත් මං දැන් ආශ්‍රය කරන්නේ කවදාහරි ආපහු රිලේෂන්ෂිප් එක බ්‍රේක් වෙන්න පුළුවන් කියලා හිතාගෙන… බැඳීම් කියන්නේ කැඩෙනවාමයි. ඒක නේචර් එක.. සයුරු,

කසාදෙක වුණොත්,

“වැඩි හරියක් සිද්ධ වෙන්නේ කසාදෙ කියන නෛතික රාමුව තියාගෙන බැඳීමේ තියෙන කලර්ස් අඩුවෙන එක.. .”
“එහෙනම් අපේ අම්මා තාත්තලා කොහොමද පණ වගේ එකට ඉන්නේ”

“ඒ අයට තියෙන්නේ කැඩී බැඳෙන සම්බන්ධකම්, ධනය බලය සමාජ තත්ත්වය ඒ අයගේ ජීවිතවල කොකු විදිහට තියෙනවා ඒකයි..”

මේ ජාතිය , කුලය, බලය, නිලය යන මිනුම්දඬු අභිබවා නැගෙන අපූරු කාරණාව තමයි දේශපාලන බලය. ඉතින් චන්ද්‍රරත්න බණ්ඩාර මහතා මේ නවකතාව තුළින් ගෙනහැර දක්වන තවත් විශේෂ කාරණාව තමයි එදා වගේම අදත් සමාජයේ සුදු රෙදි පොරවා ගත් සමාජ සේවකයන් විදියට ජනතාව ඉදිරියේ පෙනී සිටින දේශපාලනඥයින්ගේ සැඟවුණු යථා ස්වරූපය. අපි අද මුහුණ දෙන මේ සියලුම ගැටලුවලට මැතිඇමතිවරුන් යැයි කියාගත් පිරිත් වගකියන්න ඕන කොහොමද, ජනතාවගෙන් වසන් කරන ඔවුන්ගේ නොදකින සැබෑ ස්වරූපය හරි අපූරුවට මෙන්න මේ නවකතාවෙන් ගෙනහැර දක්වනවා.

“… හරිහමන් බුකින් එකක් ඉස්සර වගේ ගන්න බෑ. මැති ඇමතිවරු කඩා වදිනවා. ඔය ටෙලි නාට්‍යය නිලියෝ එහෙම අරගෙන. කොහොමද මල්ලි එහෙම බිස්නස් කරන්නේ?”

ඉතින් එදා වගේම අදත් අපි විවිධ කාරණා අනුව පිල් බෙදී ගැටෙනවා. ඒක ප්‍රේමයේදී විතරක් නෙවෙයි ආගම,කුලය,ජාතිය, භාෂාව, නිලය,බලය කියන කාරණාවලටත් පොදුයි.මේ නිසා අපි ගැටෙනවා. කෝලාහල ඇති කරගන්නවා.

නමුත් අපේ ජන වර්ග අතර ඇති සංහිදියාව, ගැටුම් ආදියට පාදක වෙන්නේ මොනවාද? ඒවා උත්පාදනය කරන්නේ කවුද? ඒවා අවුළුවාලන්නේ කවර බලවේග විසින් ද ? මේ සියල්ල පිටුපස මිනිසත්කම කියන කාරණය තවමත් එලෙසින් තියෙනවා ද?එසේ නැත්නම් මේවා සියල්ල තම තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍රයන් සාක්ෂාත් කරගනු වස් මවාපෑම් කරන බලවේගයන් පමණක් ද? අපේ රටේ අනාගතය අතීතයෙන් කැඩිලා නන්නත්තාර වුණේ කොහොමද? කියන හිතට වධ දෙන නොයෙකුත් ගැටළුවලට හරි අපූරුවට පිළිවදන් සපයන කෘතියක් තමයි මේ ප්‍රේමානිශංස .
ඉතින් මේ ජීවත්වන කාලය පුරාවට අපිට ඕනෑ තරම් පොත්පත් කියවන්නට අවස්ථාව ලැබෙනවා නේ.නමුත් කියවන්නට පොත් බර ගාණක් ලැබුණත් සමාජයේ නිරන්තරයෙන් සිදුවෙන සමාජ සංසිද්ධි පිළිබඳව දැනුම පුළුල් කරගන්නට, නිතර දකින නිතර සිදුවෙන සංසිද්ධිවල නොදකින පැතිකඩ දකින්නට, ජීවිතය දෙස අලුත් විදියට දකින්නට උපකාරයක් වෙන පොත් හමුවෙන්නෙ හරි කලාතුරකින්. ඔන්න වාසනාවට වගේ මේ සඳහා ඉඩහසර ලබාදෙන අපිට හමුවුණු ඒ වගේ පොතක් තමයි ප්‍රේමානිශංස.

ඉතින් ප්‍රේමානිශංස කියන්නේ කියවීම අභිබවා පාඨකයාට අපූරු රසවින්දනයක් සමීප කරන විශේෂ නිර්මාණයක්. සුන්දර නවකතාවක්. ඒ නිසාවෙන් අපි ඔබට ආරාධනා කරනවා ප්‍රේමය සොයා යන මාවත ගැන ලියැවුණු නොයෙකුත් වෙනස්කම් මැද බාධක මැද ගලායන මේ ප්‍රේම කතාන්දරය රසවිඳින්නට .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *